Thursday, November 24, 2011


කාලෙක ඉදන් බ්ලෝග් එකක් ලියන්නම් කියල හිතාන හිටියට....බ්ලොග් ලියන මූඩ් එකක නෙමෙයි මම හිටියෙ. මම අඩුවෙන්ම ලියල ඇත්තෙ අම්ම ගැන. ඒත් වැඩියෙන්ම ආදරේ අමම්ට. අම්ම කුස්සියෙ හොද්දක් ඒදනවද කොහෙද? අම්ම ගැන චූටිම කාලෙ නම් තියෙන්නෙ අපැහැදිලි මතකයක්. මගෙ පොඩි කාලෙ ගතවුණේ බදුල්ල පැත්තෙ. අම්ම මාවත් වඩාගෙන පීල්ලෙ නාන්න යනව මට මතකයි. ඒ දවස්වල අපේ ගේ තිබුණෙ මහපාර ගාව කන්දක් වගේ තැනක. දැන් අම්මට 56 යි, ආතරයිටීස් හැදිල තියෙද්දි, එපා තියද්දිත් දර පලනව, මිනිත්තුවක්වත් නිකං ඉන්නෙ නැතුව මල් පාත්ති සුද්ද කරනව. ලගදි ඉදන් කුස්සිය ඉස්සරහ හදල තියෙන, කුරැලු ලෑල්ලට ලේන්නුන්ට කන්න කියල බත් ටිකක් නොවැරදීම දානව. අම්ම මට, අයියට, නංගිට කොච්චර ආදරේද? ඒ ආදරේ මෙච්චරයි කියල කියන්න බැරි තරම්. දැන් කරදඩු උස්මහත් වෙලා හිටියට, මම අවුරැදු දහය එක‍ොලහ වෙනකම්ම නිදාගන්න කලින් ඇද ලගටම වතුර එකක් අරන් ඇවිත් නංගිගෙයි, මගෙයි කකුල් හෝදන්න අම්ම පුරැදු වෙලා හිටිය. මට අමතක වුනත් මගෙ බෙහෙත් ටික දෙන්න අම්ම අමතක කරන්නෙ නෑ. මගෙ ජීවිතෙ වටිනවයි කියල හිතන් හිටිය හැමෝටම වඩා, දස දහස් වතාවක් අම්ම වටිනව. මට මගෙ ජීවිතෙන් උගන්වපු හොදම පාඩම වගේම ලොකුම පාඩමත් ඒක. අනිත් ඔක්කෝටම බත් බෙදල මගෙ පිගානට ලොකු මාළු කෑල්ල දාල, හිනා වෙවී අමුතු සතුටකින් බත් දංකුඩේ හූරාගෙන කන අම්මගෙ පිගානෙ බත් තියෙනවදවත් නොබල බඩ ඉස්මුරැත්තාවට එනකම්ම කාපු මට රටේ නැති ලෙඩ හැදෙද්දි, අම්ම තවමත් පොරොවන් දර පලන්නෙ, මිදුල උදළු ගාන්නෙ බඩට නොකා අපිව ලොකු මහත් කරපු පිනට වෙන්න ඇති. ගෙදර මොන අඩු පාඩි තිබුනත් කිසිම දවසක පොතක පෑනක අඩුපාඩුවක් අපිට දැනෙන්න දුන්නෙ නෑ. හොදට ඉගෙන ගනින් පුතේ කියල හැමදාම ඔලුව අතගාල ඉස්කෝලෙ යවපු මගෙ වටිනාකමක් කියල ඉතුරැ වුනෙත්, පොත පතින් ලැබිච්ච දැනුම විතරයි. මගෙ ලේ මස් නහර හැම තැනම යන්නේ අම්ම මට පොවාපු කිරි. ඒ කිරි එක්ක ආදරේ මුහු කරල පොවාපු හින්ද අනුන්ගෙ දුකේදී, ඇහැට කදුලක් ඇවිත්, සන්තෝසෙකදි අව්‍යාජව හිනාවෙන්න මට පුලුවන්. ආදරේ විදින හැම මොහොතකම මට හිතෙන්නනෙ, ආදරේ අම්ම මට පොවාපු කිරි තරම්ම රස, කිරි තරම්ම පිරිසිදු උතුම් හැගීමක් කියල. ජීවිතෙ කොයි මොහොතෙ වින්දත් මට නම් ආදරේ කිරි රහයි...